Wednesday, October 26, 2022

සොබා දහමේ රීතිය සහ ඇගේ දරුවා

 සොබා දහමේ රීතිය සහ ඇගේ දරුවා



           ලෝකය පාලනය කරනු ලබන්නේ දෙවි කෙනකුන් විසින් නම් එම දෙවිඳුන් සොබාදහම යැයි සැලකීම වරදක් විය නොහැකිය.මාතෘ මූලික සමාජයක් වඩා උතුම් කොට සලකන සොබා දහමේ දඩබ්බර අකීකරු පුත්‍රයා වන මානවයා විසින් සිය අව්‍යාජ හැඟීම් හොවා දක්වනු වස් ඇය මව් තනතුරේ තබන්නේය.මේ නිසාම "සොබා දහමේ මව " යන්න අපට ආගන්තුක නොවන යෙදුමකි.

මිහිතලය මත පවත්නා ස්වභාවික ජනනය සහිත සියල් සම්පත් සොබාදහම් දියණියගේ දායාද බව රහසක් නොව.ඇය අනලස්වවත්,නිර්ලෝභීවත් සිය දයාවේ හස්තය සමස්ත සත්ත්ව ප්‍රජාව වෙත දිගු කරන්නීය.නමුත් දියුණු වේ කඩතුරාවට  මුවා වු අකීකරු පුත්‍රයා හෙවත් මානවයා නිරන්තරයෙන් ම පිහිට පිණිස දිගුවන මෙම හස්තය සපාකෑමට පෙළඹේ.බොහෝ කාලයකට පෙර ලෝකය  ජනාවාස වීම රිදවා කෙනිත්තුවේත්, අවසානයේදී  නිර්ලජ්ජා සහගත  දූෂණයකට ඇය බදුන් කළෙත්,මේ පීඩාකාරී  අකීකරු පුත්‍රයා විසින් වීම ඛේදනීය සත්‍යයකි.
තාක්ෂණයේත් විද්‍යාවේත් පිහිටෙන් වඩා දියුණු මානව දොරගුල් විවර කරගෙන මානවයා අහස,පොළොව සයුරසේම අභ්‍යවකාශ හා පොළෝ කුහරයේද ජය ගනිද්දී, මාතාව බොහෝ ඉවසීමෙන් බලා හුන් බව අප දනිමු. ඇයගේ ගත රුහිරු සූරා, ලයමඩල කැණ වසර මිලියන ගණනක් පරණ තෙල් සම්පත සූරා ගනිද්දිත් නිර්මලව ඇය වත දෝලනය කරමින් ගලායන සුනිල දිය දහර හා ජල මූල සිය අපද්‍රව්‍ය සහ විවිධ විෂ රසායන යොදා දූෂණය කරද්දිත්, නිල්වන් වළා පෙළ  අඳුරු පැහැ ගන්වමින් කළු වලා ඉහිරවද්දිත් නොහඬා නොසැලී සිටී. ඇය දැන් සිය ඉවසීමේ  සළුපිළි ඉවතලමින් සිටින බව අපි දනිමු. මේ නිසාම එකෙක් සිය කඳුළු කඳු මුදුන් මතින් බිමට දමා සුන්දර දිය ඇලි මැවූ ඇය මේ වෙනුවට කදු පෙරළා දමමින් සිටින්නීය.මුතු ඇතුලු රළ පෙලින් පෙරළන්නට හැදූ තැවරූ ඇය සුනාමි ව්‍යවසනයක් මවා සිය දරුවාට දඬුවම් කරන්නීය.හමායන මද නලින් සිය දරුවාගේ හිස අත ගෑ ඇය රුදුරු ටොනාඩෝ මවමින් ඔහු ඔසවා පොළොවේ ගසන්නීය.

සොබාදහමේ රීතිය ඇයගේ අන් සියලු දූ දරුවන්ට සේම මිනිසාට ද පොදුය.මේ නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඊට අවනත වන්නට අපට ද සිදුවේ. මෙහි උච්චතම අවස්ථාව 2019 වසර අවසානයේ අප සොයා පැමිණි ස්වභාවික විපත් සංඛ්‍යාවයි. පුපුරා යන ගිනිකඳු,උතුරා යන ගංදිය, හමා යන සුළි සුළං හා ටොනාඩෝ ,නගර ගිල ගන්නට තරම් සුනාමි රැලි අතර අපට වඩා දැනුණේ covid 19 වසන්ගත යයි.සොබාදහම විසින් නිර්මාණය කරන ලද බැක්ටීරියාවකින්ද දසසෙන් එකක් පමණ වන මෙම කුඩා වෛරසය ඇගේ අකීකරු පුත්‍රයාගේ පරපුර ලක්ෂ ගණනින් විනාශ කොට දැමීමෙන් තවමත් නිම නොවූ ව්‍යසනයක මානවයා අසරණව සිටින්නෙත්  සොබාදහමේ නීතියට සේම රීතියට අප ද යටත් විය යුතු බව සක්සුදක් සේ පැහැදිලි ව කියා දෙමිනි.
අප තවමත් පැරදී නැත්තෙමු.සියල් මව්වරුන් සේම දයාවෙන්  ද අනුකම්පාවෙන් ද උතුරා යන හදවතක් හිමි සොබා දම් මාතාව අපට සමාව දෙන්නට පසුබට නොවන්නීය.නමුත් ඒ සඳහා අප විසින් කළ යුතු දේ බොහෝය. ඊනියා බලලෝභය,දේශපාලනය හා ආත්මාර්ථය අත්හැර දමා සුදු කලු භේදයෙන්, ආගම්වාදයෙන් හෝ ගෝලීය වශයෙන් සීමා නොවී එකම දරු කැලක් ලෙස අත්වැල් බැඳගන්නට ඇය අපට ආරාධනා කරන්නීය.මේ සුහද ආරාධනය පිළිගෙන සුරැකීම හෝ එය ඉවත දමා විනාශ වීමේ වගකීම කර හොවා සිටින්නේ ඔබත් මමත් ඇයත් අකීකරු පුත්‍රයාගේ පරම්පරාවම ය.අපි අපේ සිහින අලුත් කරගත් දිනක සොබාදම් මාතාව ඇගේ රීතීන් තුළ වඩා පැහැබර හෙටක් වෙනුවෙන් උදා කරනු ඇති බව නිසැකයි.


Sunday, October 23, 2022

කඳුළ

 කඳුළ😭😭😭

සද්දන්ත ඇතුන්ටත් බැඳ හැකිය වැටකඬුලු

සැඬ සුළං මුදු පොඳත් ඉල්ලුවේ ලිය මඬුලු

දුරයි තව තව රැඳෙන උඩු මහල් තල සඳලු

රිඳුම් දෙන හදවතට බර වැඩිය උණු කඳුළු

Friday, October 21, 2022

සිතුවිල්ල

අනවසරෙන් වඩින, සැනින් පලා යන,

සීමා විරාම නොතකා 

මටත් හොරා හිත එක්ක නුඹ ධාර හරඹයක්.

මුරණ්ඩු මං

නුඹට හීලෑ ද ?🤔


හුදකලා නිමේෂයක 

මංමුළා වූ 

මා සොයන නුඹ කවුරුන් ද?🤔


අන්ධ හෝරාවක

නිහඬ ගුහා කුහරයක හිර ව,

පතුල නොපෙනෙන අගාධයකට ඇද වැටෙන,

හිස් අහසක පාවෙන කාල මේඝයක් වූ

මා සොයන නුඹ කවුරුන් ද...?🤔


*********************************************

අවහිර රිද්මයකට වැයෙන,

හද තුළම නිදන් වූ,

මැදියම් රැයේ දොළහේ කණිසමට පවා ඉකිබිදින,

වළ දැමූවත් පණ ගැහෙන,

නුඹට අවනත නොවූ මා...

නොමළ මළ 

චංචල සිතුවිල්ල.😌


වෙන කවුද දන්නෙ?

  වෙන කවුද දන්නේ කොතෙක් ගංගා ගලා මිහිකත පුබුදුවන වග පැවසුවත් ගඟයි දන්නේ මිහිකතෙන් දුන් ගල් පරයකට වන රිදුම්...