Thursday, December 8, 2022

 යහපත් අනාගතයක් උදෙසා ආකල්පමය වෙනසක අවශ්‍යතාව



කොරෝනා වසංගතය ඔස්සේ අප වෙත නිකුත් වූ ප්‍රධානම පණිවිඩය වන්නේ රටක් වශයෙන් අප සතු කරගත යුතු ආකල්පමය වෙනසයි. “අවවාදයට වඩා ආදර්ශය උතුම්” යන සාම්ප්‍රදායික පාඨය මෙහිදී අපගේ සිහියට නැගේ. කොරෝනා වසංගතය හමුවේ සාම්ප්‍රදායික හා සමාජ මාධ්‍ය සියල්ල ඔස්සේ එකම කාරණා යළි යළිත් ප්‍රකාශ කිරීමට සිදු වූයේ අප තුළ පවතින ආකල්පමය දුගීභාවය හේතුවෙනි.

ඉන්දීය සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව රටක් වශයෙන් ගත් කල වැදගත් ප්‍රධාන හේතු කාරණා දෙකක් මූලික කරගෙන බව පැහැදිලිය. ඉන් පළමුවැන්න වන්නේ ස්වභාවධර්මය මගින් ලැබී ඇති අලංකාරයයි. ඉතා කෙටි දුර සීමාවකදී රට තුළ පවතින පරිසර සාධකයන්ගේ වෙනස සහ ජෛව විවිධත්වය ඕනෑම සංචාරකයකු පුදුමයට පත් කරනු ඇත. ඒ නිසාවෙන්ම මේ වන විට බොහෝ විදේශිකයන්ගේ සංචාර සඳහා අප රට තෝතැන්නක් වී තිබේ. දෙවැනි ප්‍රධාන කාරණාව ශ්‍රී ලංකාව තුළ පවතින වැදගත් ඓතිහාසික සාධකයන්ය. මහාචාර්ය රාජ් සෝමදේවයන්ට අනුව අප රටට නූතන මානවයාගේ (Homo sapiens sapiens) පය තැබීම වසර ලක්ෂයකටත් වඩා එපිට කාලයකදී සිදුව ඇත. ඉන් මෙහා ගත් කල, බළන්ගොඩ මානවයාගේ හමුවීම (වසර 30,000 ට පමණ පෙර) සහ අනෙකුත් විවිධ සොයාගැනීම් විසින් ශ්‍රී ලංකාව තුළ පුරාණ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ කතා වස්තු දිගහරිනු ලැබේ. ජනප්‍රවාදය හා බැඳී පවතින සහ වර්තමානයේ වඩාත් කතා බහට ලක්ව තිබෙන ‘රාවණ’ කතාපුවත හරහා කියන්නට වෙර දරන ඉතිහාසය වඩාත් ආකර්ෂණීය වූවකි. කෙසේ නමුදු මේ පිළිබඳ විවිධ මතවාද හා අදහස් ඇති බවද ප්‍රකාශ කළ යුතුවේ. අප රටේ ඉතිහාසය පිළිබඳ හැදෑරීමේදී වඩාත් කථාබහට ලක්වන්නේ දේවානම්පියතිස්ස රජු සමයේදී සිදුවූ මහින්දාගමනය හා බැඳි සිදුවීම් හා ඒ ඔස්සේ රටට උරුම වූ දායාදයන්ය. එතෙක් පැවත ආ සම්ප්‍රදායන්, සංස්කෘතික චර්යාවන් සහ අනෙකුත් ජීවන පැවතුම් කෙරෙහි මහින්දාගමනය බලපෑ බව ඉතිහාසය සාක්ෂි දරයි. එදා සිට අද දක්වා පැවත එන වසර 2300 පමණ වූ ඉතිහාසය ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සමාජ පසුබිම සහ ජීවන රටාව වෙනස් කළ අයුරු විවිධ සිදුවීම් ඔස්සේ විස්තර වේ. මෙකී කාලය තුළ විශේෂයෙන්ම දකුණු ඉන්දියානු ආක්‍රමණ ඔස්සේ සිදුවූ බලපෑම්වල සාධක අදටත් පවතී. එමෙන්ම වෙළෙඳ කටයුතු සඳහා පැමිණි මුස්ලිම් ජනයා ශ්‍රී ලංකාව තුළ පදිංචි වීම හරහා ද විවිධ සංස්කෘතික. ආගමික හා සමාජ වෙනස්වීම්වලට අප රට ලක්වූ බව පැහැදිලිය. මේ සියලු සංකලනවලට අමතරව ශ්‍රී ලංකාවට සිදුවූ විශාලතම බලපෑම වන්නේ යුරෝපීය ආක්‍රමණයි. ඒ අනුව පෘතුගීසීන් 1505 දීත්, ලන්දේසීන් 1656 දීත් සහ ඉංග්‍රීසීන් 1796 දීත් කළ ආක්‍රමණ නිසා ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතික පසුබිමට සිදු බලපෑම අදටත් පවතියි. ඒ ඔස්සේ සිදුවූ සමාජ, ආගමික, භාෂාමය සහ දේශපාලනික වෙනස්කම් හමුවේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවයට සිදුවූ බලපෑම පුද්ගල ආකල්පවල වෙනසක් සිදුකළ බව පිළිගත යුතු කරුණකි. සමස්තයක් වශයෙන් ගත් කල අද පවතින සමාජ ආකල්ප කෙරෙහි ඉහත සිදුවීම් සියලු විවිධ මට්ටමින් බලපෑම් කළ බව පැහැදිලිය.

ගෝලීය වශයෙන් මුහුණ දෙන කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය ඔස්සේ අප වෙත නිකුත් වූ ප්‍රධානම පණිවිඩය වන්නේ රටක් වශයෙන් අප සතු කරගත යුතු ආකල්පමය වෙනසයි. “අවවාදයට වඩා ආදර්ශය උතුම්” යන සාම්ප්‍රදායික පාඨය මෙහිදී අපගේ සිහියට නැගේ. කොරෝනා වසංගතය හමුවේ සාම්ප්‍රදායික හා සමාජ මාධ්‍ය සියල්ල ඔස්සේ එකම කාරණා යළි යළිත් ප්‍රකාශ කිරීමට සිදුවූයේ අප තුළ පවතින ආකල්පමය දුගීභාවය හේතුවෙනි. විශේෂයෙන්ම වෛද්‍ය අංශ මගින් නිතර ලබාදුන් උපදෙස් කිසිදු ගණනකට ක්ගෙන, සිය අභිමතයට අනුව හැසිරෙන පුද්ගලයන් දුටු කල අපට පසක් වන කාරණය වන්නේ රටේ අභිවෘද්ධිය උදෙසා ආකල්ප සංවර්ධනය කෙරෙහි වඩාත් වැඩි සැලකිල්ලක් දැක්වීම සහ ආයෝජනයක් කිරීම අත්‍යවශ්‍ය බවයි.

පරිපූර්ණ මිනිසකු බිහි කිරීම.

රටේ අනාගත ජීවනාලීය වන්නේ දරු පරපුර නිසා රටේ අනාගතය සුබ වන්නට නම් දරුවන්ගේ අනාගතය සුබ විය යුතුය. එසේ නම් වර්තමානයේ කළ යුතු ප්‍රධානම ආයෝජනය වන්නේ, දරුවන්ගේ අධ්‍යාපන රටාවේ වෙනසක් කිරීමය. පසුගිය වසර 35 ක් හෝ ඊට එපිට කාලය සැලකීමේදී අපට පැහැදිලි වන කාරණය වන්නේ දැනුම මූලික කරගත් දරු පරම්පරාවක් බිහිකිරීමට වඩාත් වැඩි උත්සාහයක් දරා ඇති බවයි. දැනුම ලබාදීම අනිවාර්ය වේ. එහෙත් දැනුම හා බැඳුණු අනෙකුත් අත්‍යවශ්‍ය උපාංග කිහිපයක් පවතී. පරිපූර්ණ මිනිසකු බිහිකිරීම උදෙසා මේ සියලු දෑ පිළිබඳ අවධානය යොමු කිරීම වටී. දැනුම හඹා යමින් තරගකාරි මානසිකත්වයක් පවත්වා ගනිමින් ලබාගන්නා අධ්‍යාපනය තුළ සමහර අත්‍යවශ්‍ය ගුණාංග දරුවන් තුළින් ගිලිහී යන ආකාරය පසුගිය දශක කිහිපය දෙස බැලීමේදී පැහැදිලි වේ. දැනුම පදනම වූ කල බාහිර උපකාරක පංති හරහා ගොඩෙනැගුණු දැනුම ගොඩ ගැසීමේ සංස්කෘතිය තුළ දරුවන් රොබෝවරුන් වන ප්‍රවණතාව පැහැදිලිය. එසේ ගොඩනැගෙන දරුවන් මානව ප්‍රජාවට, සතා සිවුපාවන්ට, ගහ කොළ, ඇළ දොළ ඇතුළු මුළු මහත් පරිසරයට ද සංවේදී නොවෙනු ඇත. එය දරුවන්ගේ වරදක් නොවේ. එහි වගකීම සමස්ත රට වැසියාටම බෙදී යනු ඇත. අප විසින් ලබාදෙන ඉලක්ක හමුවේ දරුවන්ගේ මනස නිතර ක්‍රියාකරනුයේ කෙසේ හෝ වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවරයකු විය යුතුය යන අරමුණ ඇතිවය. එය අතිශය තරගකාරීත්වයකින් ළඟා කරගත යුතු, කිහිප දෙනකුට පමණක් අවස්ථාව උදාවන දරුණු අභියෝගයකි. මා යුරෝපයේ අධ්‍යාපනය ලබන අවධියේ එවකට අටවන පන්තියේ ඉගෙනුම ලබන යුරෝපීය දරුවකුගෙන් “ඔබ ඉගෙන ගන්නේ අනාගතයේදී කවරකු වන්නටදැයි” ඇසූ පැනයට ඔහු එක හෙළා පිළිවදන් දුන්නේ පරිසර විද්‍යාඥයකු වීමට යනුවෙනි. මෙරට දරුවන්ගේ සිත් තුළ එවැනි අභිමතාර්ථ තිබුණත්, ඒවා ප්‍රකාශ කිරීමටවත් ඔවුන් නොපෙලඹෙන්නේ මව්පියන්ගෙන් ලැබෙන අධික පීඩනය හේතුවෙනි. දරුවා කවරකු විය යුතුද යන්න බොහෝ විට තීරණය කරනු ලබන්නේ මව්පියන් විසිනි. එසේ නම් නූතන ලෝකයේ ඇති අභියෝග හමුවේ දරුවන් සඳහා දැනුම පමණක් ලබාදීම ප්‍රමාණවත් නොවේ. ඒ හා බැඳුණු අනෙකුත් ගුණාංග පිළිබඳ දඅවධානය යොමු කළ යුතු වේ. මේ පිළිබඳ විවිධ අය විසින් විවිධ ආකාරයේ මති මතාන්තර මීට ඉහතදී විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත. ඒ අනුව බැලීමේදී දරුවන්ගේ අධ්‍යාපනය පෝෂණය විය යුතු සිව් වැදෑරුම් උපාංග ලෙස 1. දැනුම 2. කුසලතා 3. සාරධර්ම 4. ආකල්ප සැලකිය හැකිය.

නූතන අධ්‍යාපන රටාවේදී වඩාත් මූලික වන්නේ ආකල්ප වැඩිදියුණු කිරීම වන අතර ඊට සමගාමීව දැනුම ලබාදීම, කුසලතා වර්ධනය හා සාරධර්ම සංවර්ධනය සැලකිල්ලට ගැනේ. එසේ නම් මෙකී පෙළ ගැස්ම අප රටේ අනාගත සංවර්ධනය ඉලක්ක කොට ආයෝජනය කළ යුතු යමක් බව අවධාරණය කරනු කැමැත්තෙමි. විශේෂයෙන්ම ජපානය වැනි රටවල ආකල්ප සංවර්ධනය කෙරෙහි වඩාත් වැඩි අවස්ථාවක් උදා කර දී ඇත. අපේ රට ගැන සිතීමේදී ආකල්ප වැඩිදියුණු කිරීම පෙර පාසලෙන් ආරම්භ කර පාසල් අධ්‍යාපනය ඔස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා පුළුල් කිරීම මගින් වඩාත් යහපත් දරු පරම්පරාවක් ඉතිරි වනු ඇත. මෙකී කාර්යය අද ආරම්භ කළහොත් තවත් වසර 15කින් හෝ අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත හැකි අතර ඉන්පසු එය අඛණ්ඩව සිදු වෙනු ඇත. මෙම ලිපියේ අදහස මේතාක් කිසිවකුත් මේ කෙරෙහි අවධානය යොමු නොකර කිසිදු පියවරක් නොගෙන ඇති බව ප්‍රකාශ කිරීම නොවන නමුත්, මෙය විධිමත් ලෙස, ඉලක්කගතව සිදුව නැති බව අවබෝධ කරගත යුතුය. ආකල්ප ගත අධ්‍යාපන ක්‍රමවේදයේදී දරුවන්ගේ පෝෂණය කළ යුතු කාරණා අතර ශ්‍රී ලාංකීය අනන්‍යතාව, දේශීය දෑ අගය කිරීම, මානව ගුණධර්ම ප්‍රගුණ කිරීම හා ඒ ඔස්සේ එකිනෙකාට ගරු කිරීම, පරිසරයට ආදරය කිරීම හා එහි අගය වටහා ගැනීම, රටේ ආර්ථිකයට දායක වන පරිදි අනාගතය සකස් කරගැනීමේ වගකීම, සියලු වෘත්තීන්ගේ ඇති වැදගත්කම සහ සියලු වෘත්තීන් ඔස්සේ රටේ ප්‍රගමණයට සහය විය හැකි බව අවබෝධ කර ගැනීම ප්‍රධාන වේ. විශේෂයෙන්ම මානව ප්‍රජාවගේ වගකීම පිළිබඳ දරුවන් තුළ තිබිය යුතු අවබෝධය සහ ඒ ඔස්සේ එකිනෙකා මනාලෙස හඳුනාගනිමින් ජීවත්විය යුතු පිළිවෙළ පිළිබඳව ද ආකල්ප සංවර්ධනය ඔස්සේ දරුවන්ට ප්‍රායෝගිකව අත්විඳීමට අවස්ථාව උදා කර දිය යුතුය.

අධ්‍යාපන ක්‍රමවේදය

වඩාත් ප්‍රායෝගිකව මෙය කළ හැක්කේ වර්තමානයේ කතාබහට ලක් වන අධ්‍යාපනය ලබාදීමේ රටාව ඔස්සේය. මීට පෙර අධ්‍යාපනය ලබාදීම සිදුවූයේ ගුරුවරයා කේන්ද්‍රකොට ගෙන වන අතර බොහෝ අධ්‍යාපන ආයතනවල එය තවමත් සිදුවෙමින් පවතී. එහෙත් නූතන ක්‍රමවේදයේදී ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදය වඩාත් ප්‍රගුණ කෙරේ. විශේෂයෙන්ම ෆින්ලන්තය වැනි රටවල පාසල් අධ්‍යාපනය පවා මෙම ක්‍රමය ඔස්සේ සිදුකරයි. එහිදී දරුවන් සිය කුසලතා සහ දැනුම වර්ධන ක්‍රියාකාරකම් කළ යුතු අතර මූලීකවම ආකල්ප වැඩි දියුණුව අපේක්ෂා කෙරේ. කණ්ඩායම් හැඟීම, අවම තරගය, එකිනෙකාට ගරු කිරීම, පරිසරය සහ මිනිසුන් සමඟ සම්බන්ධතා ගොඩනැගීම, වඩාත් ප්‍රායෝගික තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කිරීම, නිර්මාණශීලි පුද්ගලයින් බිහි කිරීම, තර්කන හැකියාව ලබා දීම ආදි බොහෝ දෑ මේ මගින් අපේක්ෂා කෙරේ. ප්‍රායෝගික ක්‍රියාකාරකම් මූලික කරගත් අධ්‍යාපන ක්‍රමවේදයකට යෑමේදී උපකාරක පන්තිවල අවශ්‍යතාව අවම වීම, ක්‍රීඩා කටයුතුවලට දරුවන් යොමු කරවීමට, පරිසරය සමග කටයුතු කිරීමට සහ දහම් අධ්‍යාපනය ලබාගැනීමට අවස්ථාව සැලසීමට ඉඩ සැලසෙනු ඇත. අධ්‍යාත්මික සංවර්ධනය, යන ආකල්ප සංවර්ධනය උදෙසා වඩා ප්‍රායෝගික වැඩපිළිවෙළක් බව හඳුනාගැනීම ද වටියි. තායිලන්තය වැනි රටවල අඩුම තරමේ වසර කිහිපයක් පැවිද්දකු ලෙස ගතකිරීමට අවස්ථාව උදා කර දෙන්නේ මේ හේතුවෙනි.

අධ්‍යාපනය සඳහා තරගකාරීත්වය ගැන සැලකීමේදී ගම්‍ය වන කාරණය විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇති සීමිත ඉඩකඩයි. උසස් පෙළ හදාරන දරුවන්ගෙන් 12% පමණ උසස් අධ්‍යාපනය සඳහා වරම් ලබන මුත් අවශ්‍යතාවය සහ කැමැත්ත ඇති සැලකිය යුතු පිරිසකට ඒ සඳහා අවස්ථාව නොලැබේ. වර්තමානයේ කථාබහට ලක්වන සිසුන් 40,000 - 50,000 ක් පමණ සරසවිවලට ඇතුළත් කරගැනීමට දරන උත්සාහය කිසියම් දුරකට සරසවි අධ්‍යාපනය සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමට හේතු වනු ඇත. එහෙත් අභියෝගය වන්නේ පවතින තත්වය යටතේ සරසවි තුළ ඇති පහසුකම් සහ අනෙකුත් ධාරිතාවයන්ගේ ප්‍රමාණයයි. කෙසේ වෙතත් කොරෝනා හමුවේ පසක් වූ කාරණය වන්නේ තෝරාගත් සමහර පාඨමාලා සඳහා සිසුන්ට දුරස්ථ සහ මාර්ගගත ක්‍රම ඔස්සේ උසස් අධ්‍යාපනය ලබාදීමට ඇති හැකියාවයි. එය සරසවි අධ්‍යාපනය පුළුල් කිරීමේදී සැලකිය හැකි ප්‍රායෝගික කරුණකි.

ආකල්ප සංවර්ධනය

රටක ප්‍රජාවකගේ ආකල්ප වර්ධනය අධ්‍යාපනයට පමණක් සීමා නොකොට එය ඉන් ඔබ්බට ද ගෙන යා යුතුය. එනම් රටේ සංවර්ධනය ඉලක්ක කර ආකල්ප සංවර්ධනය කිරීමයි. මෙහිදී සියලු පුරවැසියන්ගේ යුතුකම වන්නේ රටේ සංවර්ධනයට දායක වන ලෙස සිය වෘත්තිය පවත්වාගෙන යෑම යන්න දරුවන්ගේ මනස තුළ තැන්පත් කළ යුතුය. උදාහරණයක් වශයෙන් රටක් ලෙස තායිලන්තයේ අභිමතාර්ථය වන්නේ මුළු ලෝකයේම මුළුතැන්ගෙට අවශ්‍ය ආහාර සැපයීමයි. ඒ සඳහා සියලු රටවැසියන්, රාජ්‍ය, රාජ්‍ය නොවන අනෙකුත් ආයතන සියල්ල එක සේ වැඩකටයුතු කරයි. එහිදී වඩාත් සාර්ථක අපනයන ක්‍රියාවලියක් මඟින් රටතුළ නිෂ්පාදිත කෘෂි නිෂ්පාදන අගය එකතු කොට අනෙකුත් රටවලට අපනයනය සිදු කෙරේ. එක් දහස් නවසිය හැටේ දශකයේ අගභාගයේදී අමෙරිකාව සඳ තරණය ​සඳහා සැලසුම් සකස් කිරීමේදී එරට සනීපාරක්ෂක කටයුතුවල නියැළුණු කම්කරුවාගේ පවා සිත්තුළ වූයේ තමන් වැඩකරන්නේ ඇමරිකානුවන් සඳට යැවීම සඳහා යන්නයි. ආකල්ප සංවර්ධනයට ඉඩ සැලසීම ඔස්සේ රටක සංවර්ධනය සඳහා මානව ප්‍රජාව පෙළගැස්විය හැකි බව කිවයුතුය. ජපන් ජාතිකයන්ට කුඩා කල සිටම ලබාදෙන පණිවිඩය වන්නේ, රටේ සංවර්ධනයට නිර්මාණශීලිව දායකවීමට නම් තම මනසේ ඇති නිර්මාණශිලී සිතුවිලි සිය දෑත් ඔස්සේ එළියට ගත යුතු බවයි. මේ සියල්ල අපට පසක් කරන කාරණය වන්නේ ආකල්ප සංවර්ධනයේ ඇති වටිනාකම සහ එය රටේ ආර්ථිකයට පෙළ ගැස්සවීම කල හැකිය යන්නයි. රටක් ලෙස ශ්‍රී ලංකාවට ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ අවුරුදු ගණනාවක් ඉදිරියට සලකා ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කිරීමයි. ඉන්පසු ඒවාට අනුව වැඩකරන ආකාරය ආකල්පමය වශයෙන් දරුවන්ගේ සිත් තුළ ධාරණය කොට ඒ සඳහා ඔවුන් සූදානම් කරවීමයි. මේ සඳහා රටේ පාලකයන් සතුව විශාල වගකීමක් සහ ඉටු කළ යුතු කාර්යයක් පවතී.

අව්‍යාජ දායකත්වය

මෙකී කාරණා ගැන කථා කිරීමේදී වර්තමානයේ දේශපාලන ප්‍රවාහය පිළිබඳ පුරවැසියන්ගේ සිත් තුළ ඇති අදහස්, විවේචන පිළිබඳ අවධානය යොමු කිරීම ද ඉතා වැදගත්ය. රටේ අනාගතය මිස පුද්ගල හෝ පක්ෂ සංවර්ධනය කෙරෙහි යොමු නොවීමට සියලු පුරවැසියන් අවබෝධ කරගත යුතු කරුණු පිළිබඳ පුළුල් අවබෝධයක් දරුවන්ට ලබාදීම ආකල්ප සංවර්ධනය ඔස්සේ සිදු කළ යුතු කාරණයයි. අනාගතය භාරගැනීමට සිටින පිරිස ලෙස දරුවන්ගේ අරමුණු වැඩිදියුණු කළ යුත්තේ වඩාත් ඵලදායි සේවාවක් රටට සැලසීම සඳහාය. විශේෂයෙන්ම සමාජ සේවයේ ඇති සැබෑ ස්වරූපය සහ රටක සංවර්ධනයට අව්‍යාජව දායක විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ ආකල්ප දියුණු කිරීම කළ යුතුම කාරණයකි. රටට ආදරය කරන සහ ගරු කරන පුරවැසියන් බිහි කිරීම ඔස්සේ මෙය කළ හැකි වනු ඇත. ඒ සඳහා කිසියම් කාලයක් ගතවුවද දරුවන්ගේ ආකල්ප වැඩිදියුණු කිරීම හරහා මෙය සිදුකිරීම වඩාත් ප්‍රායෝගික වනු ඇත.

ආකල්ප සංවර්ධනයේ මූලිකම අරමුණ විය යුත්තේ පටු අදහස්වලින් තොර, පාට කණ්ණාඩිවලින් බලා තීරණ නොගන්නා පුද්ගලයන් බිහිකිරීමයි. එසේ වුවහොත් එය රටක් වශයෙන් ලබන විශාල ජයග්‍රහණයකි. කෙතරම් විභාග සමත්ව කුමන තරාතිරමක සිටියත්, ආකල්පමය වශයෙන් දුප්පත්, අනුන්ගේ නුගුණම දකින, සහයෝගයෙන් ක්‍රියා කළ නොහැකි, ආත්මාර්ථකාමීන් බිහිවීම වැළැක්වීමට හැකි එකම ක්‍රමය වනුයේ ආකල්ප වැඩිදියුණු කිරීමයි. ආකල්ප ධනාත්මක නොවූ කල ඉගෙනගත් පාසල, විශ්වවිද්‍යාලය හෝ මව්පියන් පිළිබඳ ගෞරවයක් උපදින සේ වැඩකිරීමට කිසිවකුට නොහැකි ය. එම නිසා මිනිසාගේ සංවර්ධනය පදනම් විය යුත්තේ ආකල්ප වැඩිදියුණු කිරීම මූලික කරගෙනය. එසේ නොවුණු කල බිහි වන පුද්ගලයා පිළිබඳව අප මතකය දිවයන්නේ සිංහල සාහිත්‍යයේ එන වඩාත් සුපතළ යෙදුමකටය. එය නම් “නුග ගස මහත් වුවත් නුග ඵලය කුඩා වන්නා සේ” යන්නය. එනම් එවැනි පුද්ගලයන්ගෙන් සමාජයට වන සෙත අවම වන බවයි. වඩාත් වැදගත් කාරණය ආකල්ප වැඩිදියුණු වූ කල විනය ඉබේටම පෝෂණය වීමයි. එය රටක් ලබන විශාල ජයග්‍රහණයකි. කොරෝනා උවදුර හමුවේ අපට යළිත් පසක් වූයේ විනයක් ඇති මිනිසුන් අප රටේ ඉදිරි ප්‍රගමනයට අත්‍යවශ්‍ය බවයි. ආකල්ප වැඩිදියුණු කිරීම හැර ඒ සඳහා ඇති අනෙකුත් ක්‍රම උපායන් එතරම් පැහැදිලි නැත.



5 comments:

වෙන කවුද දන්නෙ?

  වෙන කවුද දන්නේ කොතෙක් ගංගා ගලා මිහිකත පුබුදුවන වග පැවසුවත් ගඟයි දන්නේ මිහිකතෙන් දුන් ගල් පරයකට වන රිදුම්...